ඩොලර් ට්‍රිලියන 100 ක නෝට්ටුවක්?
සිම්බාබ්වේ 2009 දී මුහුණදුන් අධි උද්ධමන තත්වය ඉදිරියේ භාවිත කරන ලද මුදල් නෝට්ටුවක් සම්බන්ද හැදින්වීම.
💰 ට්‍රිලියන 100ක නෝට්ටුවක් තිබුණත් වැඩක් නෑ!
ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ අතිවිශාල මුහුණත් වටිනාකමක් සහිත මුදල් නෝට්ටුවක් තමයි සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 නෝට්ටුව.
මේ නෝට්ටුව නිකුත් වුණේ සිම්බාබ්වේ මුහුණ දුන් දරුණු අධිඋද්ධමන (Hyperinflation) තත්ත්වය තුළයි. (2009 ජනවාරි)
සාමාන්‍යයෙන් ආර්ථිකයක ඉතා ඉහළ මුහුණත් වටිනාකමක් සහිත මුදල් නෝට්ටු හඳුන්වාදීමට සිදුවීම, එම ආර්ථිකය මුහුණ දී ඇති උද්ධමන තත්ත්වය පිළිබඳ වැදගත් ඉඟියක් ලබාදෙන්න පුළුවන්.
ඊට හේතුව, කාලයත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම නිසා මිනිසුන්ට එදිනෙදා ගනුදෙනු සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වීමයි.
ආර්ථික විද්‍යාවේදී අපිට වැදගත් වෙන්නේ මුදලේ මුහුණත් වටිනාකම (Face Value) නෙවෙයි. එම මුදලෙන් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. එනම් මුදලේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power) යි.
සාමාන්‍ය ආර්ථිකයක කාසි භාවිතය සිදුවන්නේ කුඩා වටිනාකම් සහිත ගනුදෙනු සඳහායි.
උදාහරණයක් විදියට අපි රු. 1ක කාසියක් භාවිතා කරන්නේ ඉතා කුඩා වටිනාකමකින් යුතු ගනුදෙනු සඳහායි.
දැන් ඔයාට හිතෙනවා ඇති රුපියලකින් අද මොනවද ගන්න පුළුවන් කියලා. ඇත්තටම අද රුපියලකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉතා සීමිතයි.
ඒ ඇයි?
කාලයත් සමඟ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම නිසා රුපියලක මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. ඒ නිසා අද අපි එදිනෙදා ගනුදෙනු සඳහා රු. 10 ක කාසිය වැනි ඉහළ මුහුණත් වටිනාකමක් සහිත කාසි වැඩි වශයෙන් භාවිතා කරනවා.
නෝට්ටුත් ඒ ආකාරයෙන්මයි.
අපි අද භාවිතා කරන මුදල් කාණ්ඩයට පෙර ලංකාවේ ඉහළ මුහුණත් වටිනාකමක් සහිත නෝට්ටුවක් ලෙස රු. 2,000 නෝට්ටුව පැවතුණා. නමුත් පසුව රු. 5,000 නෝට්ටුවත් අපේ මුදල් කාණ්ඩයට එකතු වුණා.
රු. 5,000 නෝට්ටුව හඳුන්වාදුන් මුල් කාලයේදී එම මුදලෙන් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අදට වඩා සැලකිය යුතු මට්ටමක පැවතුණා.
නමුත් කාලයත් සමඟ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යාමත්, විශේෂයෙන්ම 2022දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉහළ උද්ධමන තත්ත්වයත් සමඟ රු. 5,000 නෝට්ටුවක මිලදී ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු වුණා.
මේ කරුණෙන් අපිට සරලව අවබෝධ කරගත හැකි කරුණු 2ක් තිබෙනවා.
-
ඉහළ මුහුණත් වටිනාකමක් සහිත මුදල් නෝට්ටු ආර්ථිකයකට හඳුන්වාදීමට සිදුවීම, එම ආර්ථිකය අතීතයේදී මුහුණ දුන් හෝ වර්තමානයේ මුහුණ දෙන උද්ධමන තත්ත්වය පිළිබඳ ඉඟියක් විය හැකියි. ඒ නිසා ලොකු සල්ලි කොළ වැඩි වශයෙන් භාවිතා වෙනවා කියලා ඒ ගැන සතුටු වෙන්නම අවශ්‍ය නැහැ.
-
ඉහළ මුහුණත් වටිනාකමක් සහිත නෝට්ටුවක් තිබීමෙන් අදහස් වෙන්නේ එම මුදලේ මිලදී ගැනීමේ හැකියාවත් ඉහළ බව නොවෙයි. ඇතැම්විට එය මුදලේ මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී ඇති බව පිළිබිඹු කරනවා.
සිම්බාබ්වේ 2007–2008 කාලයේ මුහුණ දුන් අධික උද්ධමන තත්ත්වය හමුවේ 2009 ජනවාරි මාසයේදී ඩොලර් ට්‍රිලියන 100ක මුදල් නෝට්ටුවක් පවා නිකුත් කරන්නට සිදුවුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සඳහන් කරන පරිදි, 2008 නොවැම්බර් මාසයේ උද්ධමනය එහි උපරිම මට්ටමට පැමිණි අවස්ථාවේ මිල ගණන් පැය 24.7කින් දෙගුණ වීමේ තරම් දරුණු තත්ත්වයක් පැවතුණා.
එම කාලයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ ගිය නිසා සාමාන්‍ය ගනුදෙනු සඳහා පවා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඒ නිසාම ඉතා ඉහළ මුහුණත් වටිනාකමක් සහිත නෝට්ටු නිකුත් කිරීමට සිදුවුණා.
නමුත් අද වන විට එම මුදල් නෝට්ටුව සාමාන්‍ය ගනුදෙනු සඳහා භාවිතා වෙන්නේ නැහැ.
මුදලේ වටිනාකම තීරණය වෙන්නේ එහි බිංදු ගණනින් නොව, එහි මිලදී ගැනීමේ හැකියාවෙන් බව මතක තියාගන්න. ❤️
Vihan K. Gunathilaka Economics undergraduate at the University of Colombo and an A/L Economics educator interested in economic policy, education and Sri Lankan economic issues.
#Economics #ALEconomics #Hyperinflation #Zimbabwe #Money #PurchasingPower #ArtOfEconomics #YoungMindsForYoungDreams
Where this came from
Source: International Monetary Fund (IMF) – Monetary Finance: Do Not Touch, or Handle with Care?
Report
Sign in to report something — it keeps the reports real. Your report stays anonymous to the person you report.
Comments
Sign in to comment.