පොලී අනුපාත ඉහළ යනවා... මේක අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 25කින් ඉහළ නංවා 9.00% දක්වා ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
ඒ වගේම වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු අනිවාර්ය සංචිත ප්‍රතිශතය (Statutory Reserve Requirement – SRR) 2% සිට 3% දක්වා ඉහළ නැංවීමටත් තීරණය කර තිබෙනවා. අපි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලත් කියනවා මේ SRR එකට. මෙම SRR සංශෝධනය 2026 දෙසැම්බර් 9 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මුලින්ම මේ තීරණ දෙක සරලව තේරුම් අරගමුකො අපි.
OPR එක ඉහළ දැමීමෙන් මහ බැංකුව උත්සාහ කරන්නේ ආර්ථිකය තුළ ණය ගැනීමේ පිරිවැය ඉහළ නැංවීම හරහා මුදල් සංසරණය, ණය වර්ධනය සහ සමස්ත ඉල්ලුම පාලනය කිරීමටයි. මේ හරහා වෙළෙඳපොළ පොලී අනුපාත සහ බැංකු ණය පොලී අනුපාත ඉහළ යාමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
SRR එක ඉහළ දැමීමෙන් බැංකු විසින් තම තැන්පතුවලින් වැඩි ප්‍රතිශතයක් අනිවාර්ය සංචිත ලෙස මහ බැංකුවේ පවත්වාගෙන යාමට සිදුවෙනවා. සරලව කිව්වොත්, බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව (Liquidity) අඩු කරමින් ණය වර්ධනය පාලනය කිරීමට සහ ආර්ථිකය තුළ පවතින අතිරික්ත මුදල් ප්‍රමාණය කළමනාකරණය කිරීමට ගන්නා පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මොකද වාණිජ බැංකු තම සංචිත වලින් වැඩි කොටසක් මහබැංකුවේ තැම්පත් කරාම එයාලට මිනිස්සුන්ට ණය දෙන්න තියෙන හැකියාව අඩු වෙනවනේ. අපි ආර්ථික විද්‍යාවෙන් කියන්නේ මුදල් සැපයුම පාලනය කිරීම කියලා.
එතකොට මේක සාමාන්‍ය අපිට බලපාන්නේ කොහොමද?
🏦 ණය ගත්ත අයට – නිවාස ණය, ලීසිං, පුද්ගලික ණය සහ ව්‍යාපාරික ණය සඳහා පොලී අනුපාත ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් වෙනස් වන පොලී අනුපාත යටතේ ලබාගත් ණයවල මාසික වාරික ඉහළ යාමට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ මාසික ආදායමෙන් ණය ගෙවීමට වැයවන කොටස වැඩි වෙන්න පුළුවන්. නමුත් සියලුම ණය පොලී අනුපාත එකවර හෝ එකම ප්‍රමාණයකින් ඉහළ යනවා කියලා අදහස් වෙන්නේ නැහැ. ඒ නිසාම අවධනයෙන් ඉන්න..!
💰 ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු (FD) තියෙන අයට – බැංකු තැන්පතු පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ තිබෙන නිසා ඉතිරි කිරීම් කරන අයට යම් වාසියක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක බැංකු තීරණ, වෙළෙඳපොළ තත්ත්ව සහ තැන්පතු වර්ගය මත තීරණය වෙන දෙයක්.
🏢 ව්‍යාපාරිකයන්ට – ණය මත ව්‍යාපාර පවත්වාගෙන යන අයට මූල්‍ය පිරිවැය ඉහළ යන්න පුළුවන්. නව ආයෝජන, ව්‍යාපාර පුළුල් කිරීම් සහ ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීම කල් දැමීමටත් සිදුවෙන්න පුළුවන්. එහි අවසාන බලපෑම ව්‍යාපාරවල ලාභයට, නව රැකියා අවස්ථාවලට සහ ආර්ථික වර්ධනයටත් දැනෙන්න පුළුවන්.
🛒 සාමාන්‍ය පාරිභෝගිකයන්ට – මේ තීරණයේ ප්‍රධාන අරමුණක් වන්නේ උද්ධමන පීඩනය පාලනය කිරීමයි. 2026 ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය වාර්ෂිකව 8.3% දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ යාම ඒ සඳහා බලපා තිබෙනවා. උද්ධමන මට්ටම 9% විය හැකි බවට පුරෝකතන පවා මේ වෙනකොට තියෙනවා.
පොලී අනුපාත ඉහළ දැමීම හරහා ණය ගැනීම්, මුදල් සංසරණය සහ ඉල්ලුම පාලනය කිරීමෙන් ඉදිරියේදී භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගය අඩු කර ගැනීමට මහ බැංකුව බලාපොරොත්තු වෙනවා. නමුත් පොලී අනුපාත ඉහළ දැමූ පමණින් බඩු මිල ක්ෂණිකව අඩු වෙන්නේ නැහැ. එහි බලපෑම ආර්ථිකය තුළ ක්‍රමයෙන් ඇති වීමට කාලයක් ගත වෙන්න පුළුවන්.
මෙවර SRR එක ඉහළ නැංවීමට තවත් හේතුවක් වන්නේ මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම හරහා වෙළෙඳපොළට එකතු වී ඇති රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යාමයි. ඒ නිසා එම අතිරික්ත ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමටත්, ණය වර්ධනය තවදුරටත් පාලනය කිරීමටත් මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙනවා.
ආර්ථික ප්රතිපත්තිවලදී හැමවිටම වාසි සහ අවාසි දෙකම තිබෙනවා. පොලී අනුපාත ඉහළ නැංවීම උද්ධමනය පාලනය කිරීමට උපකාරී වුවත්, එය ණය ගැනීම්, ආයෝජන, ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමටත් හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා මහ බැංකුවකට තියෙන අභියෝගය වන්නේ උද්ධමනය පාලනය කරන අතරම ආර්ථික වර්ධනයට අනවශ්‍ය බාධාවක් ඇති නොවන පරිදි නිවැරදි සමතුලිතතාව පවත්වා ගැනීමයි.
අවසානයේදී, පොලී අනුපාත ඉහළ යාම ණය ගත්ත අයට කෙටි කාලීනව බරක් විය හැකි අතර, ඉතිරි කිරීම් කරන අයට යම් වාසියක් විය හැකියි. නමුත් දිගුකාලීනව මේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය තීරණය වෙන්නේ උද්ධමනය පාලනය කරමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා කරගැනීමට හැකි වුණොත් පමණයි.
විහාන් කේ. ගුණතිලක Art of Economics
#SriLanka #Economy #CBSL #MonetaryPolicy #OPR #SRR #Inflation #EconomicAnalysis
වාර්තා කරන්න
යමක් වාර්තා කරන්න පුරනය වන්න — එයින් වාර්තා සැබෑ ලෙස තියෙනවා. ඔබ වාර්තා කරන පුද්ගලයාට ඔබ කවුද කියා දැනගන්න ලැබෙන්නේ නැහැ.
අදහස්
පිවිසෙන්න අදහස් දැක්වීමට.